Wednesday 5 August 2020

පීඩනය යනු කුමක්ද - 9 ශ්‍රේණිය විද්‍යාව

පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන්නා වූ  අහිලම්භ බලය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. එනම් එය තවද මෙලෙස පැහැදිලි කළ හැක.

අප වර්ගඵලය දන්නා පෘෂ්ඨයක් මත එයට අභිලම්භ ලෙස ක්‍රියා කරන බලය කෙතෙක්ද යන්න පීඩනය යන්නෙන් පැහැදිලි කෙරේ.

පීඩනය සමීකරණය මෙසේය.

පීඩනය = යෙදෙන්නා වූ අභිලම්භ බලය (P) / බලය යෙදෙන්නා වූ වර්ගඵලය (A) 

පීඩනය මනින ඒකකය වන්නේ වර්ග මීටරයට නිව්ටන්ය (Nm-2). එය ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන බ්ලේයිස් පැස්කල් නම් විද්‍යාඥයාට ගෞරවයක් ලෙස ඉහත ඒකකය පැස්කල් ලෙසද හැදින්වේ.

1 Nm-2 = 1 Pa

පීඩනයට ඇත්තේ විශාලත්වයක් පමණි. එම නිසා එය අදීශ රාශියකි. 


Wednesday 26 June 2019

ලෝකයේ උසම ස්ථානය වන එවරස්ට් කදුමුදුන ගැන දැනගනිමු




ලෝකයේ උසම ස්ථානය කුමක්දැයි ඔබෙන් ඇසුවොත් ඔබ එකහඩින් ‘එවරස්ට්’ කදුමුදුන යැයි පවසාවි. ඇත්තෙන්ම එය නොදන්නා කෙනෙක් නැති තරම්ය. මෙකී එවරස්ට් කදුමුදුන මුහුදු මට්ටමේ සිට මීටර 8848ක් උසින් පිහිටා ඇත. එය හිමාල කදුවැටියට අයත්වන අතර මෙම එවරස්ට් කදුවැටිය හරහා නේපාලය හා චීනය යන රටවල දේශසීමා වෙන්වෙයි. මෙම කදුවැටිය නේපාලයේ සාගරමාතා කලාපයේ පිහිටා ඇත. චීනයේ සිට බලනවිට මෙය ටිබෙට් ප්‍රදේශයට අයත් වෙයි.

ලෝකයේ උසම ස්ථානය වීම නිසාත් කදු තරණයේ තිබෙන ත්‍රාසජනක බව නිසාත් දස දහස් ගණනින් සංචාරකයින් හා කදු නගින්නන් ප්‍රමාණයක් මෙම කදුවැටිය තරණයට පැමිණේ. මේ නිසාම නේපාලය අතිවිශාල ආදායමක් මෙමගින් උපයයි. එවරස්ට් තරණය සදහා මාර්ග දෙකක් ඇත. එයින් පළමු හා වඩාත්ම ජනප්‍රිය මාර්ගය වන්නේ නේපාලය හරහා මාර්ගයයි. දෙවැන්න වන්නේ චීනයේ ටිබෙට් හරහා මාරගයයි. මීට අමතරව වැඩිපුර භාවිතා නොකරන මාර්ග 13ක් ඇත. දසදහස් ගණනක් දෙනා මෙම කදුවැටිය තරණයට පැමිණියද එහි මුදුනට ලගාවන්නේ කිහිපදෙනෙකු පමණකි. එමගින් පෙන්නුම් කෙරෙනුයේ මෙහි ඇති අපහසුතාවය කෙබදුද කියාය.

අද වනවිට මෙම කදුවැටිය තරණය කළ මුලු ප්‍රමාණය 4000කට අධික වනවා. 1987 වසර වනතෙක්ම කදුමුදුනට ලගා වී තිබුණේ 200 කට අධික පිරිසක් පමණි. මෙම කදුමුදුන මුලින්ම තරණය කළේ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි හා නේපාල ජාතික ටයිසන් නෝර්ගේ යන දෙදෙනාය. ඒ 1953 වසරේය. මීට පෙර කදුමුදුනට ලගාවී ඇතිබව කියවුනත් ඔප්පු කළ පළමු දෙදෙනා වන්නේ නෝර්ගේ හා හිලරි දෙදෙනාය.

මෙම කදුවැටිය තරණය අතිශය දුෂ්කර කටයුත්තකි. ග්ලසියර, හිම පතනය, හිම කුණාටු හා නිරන්තර වෙනස් වන කාලගුණ රටාව නිසා එහි අපහසුතාව දෙගුණ තෙගුණ වී ඇත. මුහුදු මට්ටමේ සිට එතරම් උන්නතාංශයකදී ඔක්සිජන් මට්ටම ඇත්තේ ඉතාම අවම අගයකය. එබැවින් කදු නගින්නන්ට ඔක්සිජන් ටැංකි රැගෙන යාමට සිදුවේ. වසර මුලුල්ලේම හිමෙන් වැසී තිබෙන එවරස්ට් කදුමුදුනේ ඉහල උෂ්ණත්වයද ඉතා පහල මට්ටමක පවතී. මුදුනේ උෂ්ණත්වය -25C පමණ අගයකින් යුක්තය. මෙකී කටුක කාලගුණික රටාවකට අප ශරීරය කිසිසේත් සූදානම් නැත. එබැවින් කදු තරණයට පෙර ඔබ ඔබේ ශරීරය ඊට සුදුසු ආකාරයට සූදානම් කරගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සදහා කදු නගින්නන් මාසයකට වැඩි කාලයක් එවරස්ට් Base Camp තුළ සිට පුහුණු වීම අනිවාර්‍ය වන අතර මෙහිදී අවස්ථාව ලැබෙනුයේ කිසියම් කදු නගින්නෙකු ජපානයේ ෆූජි කදුවැටිය හා අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කදුශිකරය තරණය කර ඇතිනම් පමණකි. මන්ද එවැනි අත්දකීම් රහිතව මෙහි නිරත්වීම අතිශය භයානක් බැවිනි.

අද වනවිට එවරස්ට් තරණය කිරීමට ගොස් මරණයට පත්වූ පිරිස 296ක් ලෙස සනිටුවහන් වේ. එයින් බොහෝ පිරිසක් මරණයට පත්ව ඇත්තේ Death Zone නම්වූ මීටර 8000ක් පමණ උසින් පිහිටි කලාපයේය. එම මළ සිරුරු අදත් එවරස්ට් තරණය කරන්නනට දැක ගත හැකි වන අතර එකී මළ සිරුරු පහළට ගෙන යාම එතරම්ම අපහසු වේ. එසේම අතුරුදහන් වූ පිරිසද බොහෝය. මෙකී අනතුරු ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටද වේ. ඒවායින් ඔබට මෙම කදු ශිකරය වෙත යාමට ඇති අපහසුව දැකගත හැකිවනවා ඇත.

එවරස්ට් කදුමුදුනට ලගා වන්නෙකු කදවුරු කිහිපයක් පසු කර යන අතර නේපාල මාර්ගයේ මූලික කදවුර හෙවත් Base Camp එක මීටර 5364ක් උසින්ද චීන මාර්ගයේ මීටර 5100ක් උසින්ද පිහිටා ඇත.

Everest Base Camp

කිසියම් කදු නගින්නෙකු මෙම් කදුවැටිය තරණය කරන්නේ නම් ඒ සදහා ඔවුන්ට ඩොලර් 35000-10000ක් අතර මුදලක් වැය වේ. මේ නිසාම මෙහි යනු ලබන්නේ තරමක් මුදල් හදල් ඇති පුදගලයන්ය. පසුගිය දිනෙක ලාංකිකයන් දෙදෙනෙකු මෙහි ලගාවූ බව පැවසුවත් පසුව එය බොරුවක් බව හෙලිවිය.

අදවනවිට මෙහි ඇති සෝචනීය තත්වය වන්නේ එහි ඇති පරිසරය අධික ලෙස දූෂණය වී තිබීමයි. මේ නිසාම නේපාල රජයට ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවී ඇත.

ලොව උසම ස්ථානය වන මෙය වෙත නොබෝ කාලයකින් ලාංකිකයකු ලගාවනු ඇති. එසේ වුවහොත් ඔහු හෝ ඇය ලංකා ඉතිහාසයටද ඇතුලත් වනු ඇති.

Wednesday 6 February 2019

ඇනෙලිඩා වංශයේ සතුන් ගැන දැන ගනිමු

සීලෝමය නැමැති දේහ කුහරය මුලින්ම විකසනය වූ සත්ත්ව වංශය වන්නේ ඇනෙලිඩාවන්ය. ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑපණුවා යන සතුන් මෙම වංශයට අදාල සතුන්ය.

පහතින් දැක්වෙන්නේ මෙම ඇනෙලිඩා වංශයේ සතුන්ගේ රූප කිහිපයක්.






ඇනෙලිඩාවන්ගේ ප්‍රධාන ලක්ෂණ
1)      කරදිය, මිරිදිය හා තෙතමනය සහිත ගොඩබිම් යනාදී පරිසරවල මොවුන් ජීවත් වේ.

2)      බහුසෛලික දේහය සෛල ස්ථර තුනකින් යුක්ත නිසා ත්‍රිපස්තරයින් ලෙසද මොවුන් හැදින්වේ.

3)       සිහින් දිග පණු ආකාර දේහයක් සහිත අතර එය අභ්‍යන්තරව හා බාහිරව සමාන ඛණ්ඩවලට බෙදී ඇති නිසා සඛණ්ඩ පණුවන් ලෙසද හැදින්වේ.

4)      දේහය ද්ව්පාර්ශික සමමිතියක් දරයි

5)      ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරලයක් සහිත කුහරයක් ඇති අතර එය සිලෝමය නම් වේ. මෙමගින් දේහ චලනවලදී ආහාර මාර්ගයට වන බලපෑම් වලක්වයි

6)      සමහර සතුන් අලිංගික ප්‍රජනනයද සමහර සතුන් ලිංගික ප්‍රජනනය මගින්ද ජීවියා බෝ කරයි 

Friday 1 February 2019

විටමින් හා එහි වැදගත්කම විමසා බලමු



විටමින් යනු කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සේම කාබනික සංයෝග වර්ගයකි. මෙම විටමින් ශරීරයෙහි සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට දායක වන අතරම ශරීරයේ නිරෝගී බව පවත්වා ගැනීමටත් ඉතා වැදගත් වේ. ද්‍රාව්‍යතාවය අනුව මෙම විටමින් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කිරීම කළ හැකිය. විටමින් B හා  C ජලයේ දියවන අතර විටමින් A, D, E හා K යන ඒවා ජලයේ දිය නොවේ. නමුත් මේවා මේදය තුළ දියවීම සිදුවේ.
දැන් අප මෙම විටමින් වර්ග පිළිබඳව වෙන වෙනමම සලකා බලමු.

විටමින් A
පෙනීමට ඉවහල් වන දෘෂ්ටි වර්ණක සෑදීමට අතිශය වැදගත් වේ. එසේම සමේ පැහැපත් භාවයට වගේම නීරෝගී බව පවත්වාගැනීමද ඉවහල් වේ.

ඌනතා ලක්ෂණ
1)      රාත්‍රී අන්ධතාවය ඇතිවීම
2)      ඇසේ බිටෝ ලප ඇතිවීම
3)      සමේ වියළි බව ඇතිවීම
4)      වැලමිට හා දණහිස අවට කටු වැනි බිබිලි ඇතිවීම
5)      ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම


විටමින් B
ස්නායු පටකවල නිසි පැවැත්මට වගේම රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. එසේම සම නිරෝගීව පවත්වා ගැනීමට, මේද පරිවෘත්තියට, ඇටමිදුළු නිර්මාණයට, රක්තානුවල පරිණතියට වගේම ප්‍රතිදේහ සෑදීමටද විටමින් B වැදගත් වේ.

විටමින් B යනු සංකීර්ණ විටමිනයකි. එහි විටමින් B1,B2,B3,B4.....,B12 ලෙස ප්‍රභේද වෙයි. මේවා ප්‍රධාන වශයෙන් ආහාර මගින් ශරීරයට ලැබෙන අතර සමහර විටමින් මිනිසාගේ අන්ත්‍රයේ ජීවත් වෙන බැක්ටීරියා විසින් නිපදවනු ලබයි.

ඌනතා ලක්ෂණ
1)      බෙරි බෙරි රෝගය ඇතිවීම
2)      මුඛ කොන් වණවීම
3)      රක්තහීනතාවය ඇතිවීම
4)      සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම


විටමින් C
සමේ නිරෝගිභාවය සදහා වැදගත්වන තවත් විටමිනයකි. දත්වල එනමලය සෑදීමට වගේම කොලැජන් තන්තු සංශේෂලණය සදහාද වැදගත් වේ.

ඌනතා ලක්ෂණ
1)      විදුරුමස් දුර්වල වීම
2)      අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම
3)      රෝග සුව වීමට කාලය ගත වීම
4)      ස්කර්වි රෝගය


විටමින් D
ශරීරයේ කැල්සියම් හා පොස්පරස් අවශෝෂණය පාලනය කරනු ලබන්නේ මෙම විටමිනයයි. රිකට්සියාව යන රෝගය ඇතිවන්නේ මෙහි ඌනතාවය නිසාය.


විටමින් E
මෙය සෛල හා පටක වර්ධනය කෙරෙහි වැදගත් වේ.

ඌනතා ලක්ෂණ
1)      පරිණත නොවූ දරු උපත්
2)      රතු රුධිරාණු බිදී යාම වේගවත් වීම
3)      සෛල විභාජනයේ දුර්වලතා
4)      ප්‍රජනනය හා සම්බන්ධ ගැටලු


විටමින් K

රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝටක සෑදීමට මෙම විටමිනය වැදගත් වේ. රුධිරය කැටි ගැසීම ප්‍රමාද වන්නේ මෙහි ඌනතාවයක් ලෙසය.

Tuesday 3 October 2017

ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා: ෆර්නැන්ඩි මැගලන්



ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා ලෙස ඉතිහාසයට එක්වූයේ දේශ ගවේෂකයෙක් වූ ෆර්නැන්ඩි මැගලන්ය. ඔහු පෘතුගීසි ජාතික වංශවතෙක් විය. ක්‍රි.1480දී ඔහු උපන්නේය.
කොළොම්බස්ගේ මුහුදු චාරිකාවලින් පසුවද, බටහිරට යාත්‍රා කොට ඉන්දියාවට පිවිසීමට පුලුවන්ය යන මතයෙහිම සිටි ස්පාඤ්ඤ රජතුමා ෆර්නැන්ඩි ඇතුළු පිරිසක් එම කාර්‍ය සදහා යෙදවීය. මැගලන් මුලදී රජතුමා වෙත සේවයේ යෙදී සිට වරෙක නාවිකයෙකු හැටියට ඉන්දියාවට හා තවත් පෙරදිග රටවලට පැමිණීමෙන් ලබන ලද පලපුරුදුකම් ඇතිව සිටියේය.
ක්‍රි.1519 සැප්තැම්බර් 20 වන දින නාවිකයන් 2701 දෙනෙක් සමග නැව් 51කින් මැගලන් සිය ලෝක චාරිකාව ආරම්භ කළේය. ඔහු අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකාව දෙසට යාත්‍රා කළේය. මේ අවදිය වන විට දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි තුඩුවක් දක්වා යාත්‍රා කිරීමට කිසිම නැවියෙකු දැන නොසිටි අතර එයින් ඔබ්බට යාත්‍රා කළ හැකි බවත් කිසිවෙක් නොදත්හ. ගමනේ පරතෙරක් නොදුටු නාවිකයෝ තවත් ඔබ්බට යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කොට කැරළි ගැසූහ.
එක් නැවක් මැඩ පැවැත්වූ මැගලන් ධෛර්යය සම්පන්නව තව තවත් ඉදිරියට යාත්‍රා කොට, දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි පෙදෙසේ උස් කුලුණු මුහුදුවලින් ගහණ (මෙකල මැගලන් සමුද්‍ර සංධිය) කපොල්ලෙන් ඔබ්බට යාත්‍රා කොට මහත් සාගරයට පිවිසියේය. එය පැසිපික් සාගරයයි.

ඉන්පසු තව තවත් වයඹ දෙසට යාත්‍රා කළ මැගලන් පිලිපීන් දූපත් වෙත ලඟාවිය. එහිදී ඔහු ස්වදේශිකයන් සමග කළ සටනින් මිය ගියේය. ඔහුගේ මරණින් පසුව ඩෙල්කානෝ නම් නාවිකයා කණ්ඩායමේ නායකත්වය ගෙන ඉදිරියට යාත්‍රා කළේය. මේ වනවිට ඔවුන්ට ඉතිරිව තිබුණේ නැව් 2ක් වූවද, එයින් එකක් බරපතල ලෙස අබලන් වූයෙන් මොලුක්කාස් දිවයින් අසලදී මුහුදුබත් කිරීමට සිදුවිය. ඉතිරි නැවෙන් ගමනේ යෙදුනු පිරිස් ඉන්දියන් සාගරය තරණය කොට සුභපැතීමේ තුඩුව වටා ගොස් අත්ලන්තික් සාගරයට පිවිස අප්‍රිකාවේ බටහිර වෙරළ ඔස්සේ ස්පාඤ්ඤයට ආපසු පැමිණියහ.
(මේ ලිපිය සැකසුනේ කේ.ආර්.ආරියසිංහ මහතාගේ “ලොවේ ශ්‍රේෂ්ඨයෝ” කෘතිය පාදක කරගෙනය)


Tuesday 19 September 2017

වල් පැළ පාලනය සදහා රසායනික වල්නාශක භාවිතය

(Image Source - www.colombotoday.com )

වල්නාශක භාවිතය යනු ඕනෑම කෘෂිකාර්මික භූමියක වල් පැළෑටි මර්දනය කිරීම සදහා භාවිතා කළ හැකි සරලම හා පහසුම ක්‍රමවේදයයි. මේ නිසාම බොහෝ ගොවීන් කිසිම දැනුමක් හෝ පාලනයකින් තොරව මෙම වල්නාශක භාවිතා කිරීමට හුරුවී සිටිති. මීට හේතුව ලෙස දැක්විය හැකි වන්නේ ගැලපෙන වල්නාශක තේරීම හා යෙදීම පිළිබඳව ගොවීන්ගේ ඇති නොදැනුවත් කමයි.
එබැවින් අද දිනයේ කෘෂිකර්මය පාඩම යටතේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම වගා බිමට යොදන වල්නාශක නිවැරදිව තේරීම සිදුකරන ආකාරය පිළිබඳවයි.

වල්නාශක තේරීම කරන්නේ කෙසේද?

ක්‍රියාත්මක වන ආකාරය හා මර්දනය වන වල්පැළෑටි සළකා බලා වල්නාශක වර්ග කිරීම සිදුකළ හැක.

1) ස්පර්ශ වල්නාශක

මෙහිදී වල්නාශකය තැවරුණු ශාක කොටස් පමණක් විනාශ කරලීම සිදුවේ. මේවා නැවත කොටස් 2කට වර්ග කළ හැකිය.
                -සියල්ල නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය සියලුම පැළ විනාශ කරලීම සිදුකරයි.
උදා: පැරකොට්

                -තෝරා නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය තෝරාගත් පැළ පමණක් විනාශ කරලීම සිදුකරයි.
උදා: 3,4 DPA

2) සංස්ථානික වල්නාශක

මෙහිදී සිදුවන්නේ අදාල වල්නාශකය වල් පැළයේ තැවරුණු ස්ථානයෙන් ශාකයට ඇතුළු වී සෑමතැනටම ගමන් කර මුලු පැළයම විනාශ කරලීමයි. මෙයද නැවත සියල්ල නසන හා තෝරා නසන ලෙස වර්ග කළ හැකිය.
                -සියල්ල නසන - ග්ලයිෆොසෙට්
                - තෝරා නසන - MCPA

මෙම වර්ගීකරණයට අමතරව වල්නාශක යොදන අවස්ථාව අනුවද වර්ග කරලීම සිදුකළ හැකිය.

1) බෝගය සිටුවීමට පෙර යොදන වර්ග
                උදා: පැරකොට්

2) පූර්ව නිගමන වල්නාශක
බීජ හෝ පැළ සිටුවීමෙන් අනතුරුව වල්පැළෑටි මතුවීමට ප්‍රථමව පසේ තෙත සහිත අවස්ථාවල යෙදීම සිදුකරනු ලැබේ.
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

3) පශ්චාත් නිර්ගමන වල්නාශක
වගාවේ වල්පැළ මතුවීමෙන් අනතුරුව යෙදීම සිදුකරලයි.
උදා: 2,4 D , M.C.P.A , ග්ලයිෆොසෙට්

ඉහත ක්‍රම 2ට අමතරව වල්නාශක පසට යොදන වර්ග හා පත්‍රවලට යොදන වර්ග ලෙසද බෙදා දැක්විය හැකිය.

·         පසට යොදන වල්නාශක

බොහෝවිට මෙහිදී යොදනු ලබන්නේ පූර්ව නිගමන වල්නාශකයි
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

·         පත්‍රවලට යොදන වල්නාශක

උදා: 2,4 D, M.C.P.A

වගා භූමියකදී යෙදිය යුතු රසායනික වල්පැළෑටි නාශකය නිවැරදිව තෝරා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වන අතර ඉහත වර්ගීකරණ පිළිබඳ අවබෝධය ඒ සදහා වැදගත් වේ. එසේම වල්නාශක භාවිතයේ පහත කරුණු පිළිබඳවත් දැනසිටීම වැදගත් වේ.
* භූගත කදන් සහිත වල්පැළ පාලනය කරලීම සදහා සංස්ථානික වල්පැළෑටි නාශකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.
* භූගත කදන් රහිත වල්පැළ පාලනය සදහා ස්පර්ශ වල්නාශක යෙදීම ප්‍රමාණවත් වේ.
* බෝගය ස්ථාපනය කිරීමෙන් අනතුරුව වල්නාශක භාවිතා කරන්නේ නම් තෝරා නසන වල්නාශක වර්ගයක් තෝරා ගැනීම උචිතය
* බෝගයක් ස්ථාපනය නැති අවස්ථාවලදී හා බහුවාර්ෂික බෝගවල පැළ අතර ඇති වල්පැළ පාලනය කරලීම සදහා සියල්ල නසන වල්නාශකයක් යෙදීම උචිතය

මෙම රසායනික වල්නාශක භාවිතය පහසු වුවත් ඒවායේ ඇති අහිතකර ප්‍රථිපලද රැසකි. මේවා මිනිසාට, සතුන්ට හා පරිසරයට ගෙන දෙන්නේද විනාශකාරි ප්‍රථිපලයකි. එබැවින් මෙම වල්නාශක භාවිතා කරලීම හැකිතරම් අවම කර ඒකාබද්ධ වල්පැළ පාලනය වැනි ක්‍රමවේදවලට මූලික තැනක් දීමට ගොවීන්, සිසුන් හා වගාකටයුතු කරන සියලු දෙනා වග බලා ගැනීම කාලෝචිත වේ.





Thursday 14 September 2017

රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - 6 වන ප්‍රශ්න පත්‍රය


රජයේ විභාග හා අනෙකුත් විභාග වලදී සාමාන්‍ය දැනීම යනු ඔබට මුහුණ දෙන්නට වන තවත් එක් අභියෝගතා ප්‍රශ්න පත්‍රයකි. එකී විභාග වලට සහභාගී වන ඔබ සැම වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට අප තීරණය කළේ මීට මාස කිහිපයකට ඉහතදීය.
ඒ අනුව ලිපි 5ක් යටතේ ගැටලු 125ක් හා ඒවායේ පිළිතුරු දැනටමත් අප ඔබ හමුවේ තබා අවසන්ය. අද දිනයේ අප ඔබ වෙත ගෙන එන්නේ එහි හයවන අදියරයි.
මෙම ප්‍රශ්න හා පිලිතුරු හොදින් අධ්‍යනය කර ඔබගේ දැනුම වැඩි කරගන්න. එසේම මෙම ලිපිය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් උපකාරී වන ලෙස Facebook, Twitter, Google Plus වල share කරන්න.

ගැටලු

1) "මස්කට්" යනු කිනම් රටක අගනුවරක්ද?

2) කුරුණෑගල අගනුවර කරගත් ප්‍රථම පාලකයා කවරෙක්ද?

3) ශ්‍රී ලංකාවේ පොල් පරියේෂණායතනය පිහිටා ඇත්තේ කොහේද?

4) ආර්ථික වගාවක් ලෙස ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින්ද?

5) ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වූයේ කවදාද?

6) ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට කුමක්ද?

7) ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සංගණනය පවත්වා ඇත්තේ කිනම් වසරකද?

8) මැරතන් ධාවන තරගයක සම්මත දුර ප්‍රමාණය කොපමණද?

9) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය කුමක්ද?

10) ශබ්දයේ තීව්‍රතාවය මනිනු ලබන ඒකකය කුමක්ද?

11) ලෝක ආහාර දිනය කවදාද?

12) සෝමාලියාවේ අගනුවර කුමක්ද?

13) ඉන්දියානු ජාතික ගීය කාගේ නිර්මාණයක්ද?

14) ප්‍රථම වරට පාර්ලිමේන්තු ක්‍රමය මෙරටට හිමිවුණේ කුමන කොමිසමෙන්ද?

15) නොබෙල් ත්‍යාගය ආරම්භ කළ පුද්ගලයා කවුරුන්ද?

16) එංගලන්තය හා ප්‍රංශය අතර ඇති සමුද්‍ර සන්ධිය කුමක්ද?

17) ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඇරඹුණේ කවදාද?

18) "තේසවලාමේ නීතිය" ක්‍රියාත්මක වන්නේ කිනම් ජන කොට්ඨාශයක් අතරේද?

19) බඹරකන්ද දියඇල්ල අයත් ගංගාව කුමක්ද?

20) ඔලිම්පික් වර්ණ මොනවාද?

21) කාර්මික විප්ලවය ආරම්භ වූයේ කුමන රටකින්ද?

22) මුල්ම සිංහල සංදේශ කාව්‍යය කුමක්ද?

23) ලෝක සෞඛ්‍යය දිනය කවදාද?

24) බ්‍රිතාන්‍යයේ ජාතික ක්‍රීඩාව කුමක්ද?

25) රේඩියම් සොයාගත් විද්‍යාඥයා කවුරුන්ද?



පිළිතුරු

1) ඕමානය
2) දෙවන බුවනෙකබාහු
3) ලුණුවිල
4) ජේම්ස් ටේලර්
5) 1875/04/13
6) චීනය
7) 1871
8) සැතපුම් 26 යාර 358
9) පෝක් සමුද්‍ර සන්ධිය
10) ඩෙසිබල්
11) ඔක්තෝබර් 16
12) මොගඩිෂු
13) රවින්ද්‍රනාත් තාගෝර්
14) සොල්බරි ආණ්ඩුක්‍රමය
15) ස්වීඩන් ජාතික ඇල්ෆ්රඩ් නොබෙල්
16) ඩෝමර්
17) 1979
18) උතුරේ දෙමළ ජනතාව අතර
19) වලවේ ගඟ
20) නිල්, කහ, කළු, කොළ, රතු
21) එංගලන්තය
22) මයුර සංදේශය
23) අප්‍රේල් 07
24) ක්‍රිකට්
25) මාරි කියුරි